Sinhala

lankacgossip | ධීවරයන්ගේ භූමිතෙල් සලාකය බස් හිමියන් මංකොල්ල කනවා..


June 19, 2022 at 5:30 pm | lankacgossip

ධීවරයන්ගේ භූමිතෙල් සලාකය බස් හිමියන් මංකොල්ල කනවා..

ධීවරයන්ට සලාක ක්‍රමයට ලැබෙන භූමිතෙල් පෞද්ගලික බස් හිමියන් මංකොල්ල කන බවත්, ඉදිරියේ දී බස් රථවලට ඩීසල් නොදී භූමිතෙල් පමණක් දී බස් ගාස්තු සියයට හැත්තෑවකින් පහළ දමන ලෙසත් බළපිටියේ ධීවරයෝ ඉල්ලා සිටිති.

නිසිලෙස භූමිතෙල් නොලැබීම නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් විශාල සංඛ්‍යාවක් අනාථ වී ඇති බවද මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය බළපිටිය බ්‍රාහ්මණවත්ත හරස්පළ ධීවර තොටුපොළේ  ධීවරයෝ පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි දෙදරු පියෙකු වන ටෙෂාන් විනෝල් මහතා (48) මෙසේ කීය.

දැනට අවුරුදු විසි පහක පමණ කාලයක සිට ධීවර රක්ෂාව කරන්නේ. පොහොය දින හැර අවුරුද්දේ අනෙක් සෑම දිනකම මේ තොටුපොළෙන් අපි රක්ෂාව කරනවා. බෝට්ටු පනහකට වැඩිය දිනපතා රක්ෂාවේ යනවා. මේ වගේ වාරකන් කලෙට අපි කරන්නේ උදේට ගිහින් දැල් මුහුදේ දමල ඇවිත් පසුවදා අලුයම ගිහින් දැල් අරගෙන එන්නේ. ධීවර ජනතාව කාටවත් අතපාන්න කැමැති නැහැ. මේ රැකියාව කරගෙන යන්න විශාල බාධකය වී තිබෙන්නේ ඉන්ධන නැති වීමයි. බෝට්ටු ඇන්ජින් ස්ටාර්ට් කරන්න පෙට්‍රල් අවශ්‍යයි. මුහුදේ බෝට්ටු දුවන්නේ භූමිතෙල් වලින්. මාසෙකට දවසක්වත් රක්ෂාව කරන්න භූමිතෙල් ලැබෙන්නේ නැහැ. ෂෙඩ් එකකට සති හතරකට තුනකට වරක් ලැබෙන්නේ තෙල් ලීටර් 6600 යි. ධීවරයෝ වන අපට භූමිතෙල් නිකුත් කරන්න රජයෙන් සලාක ක්‍රමයක් හදල තිබෙනවා. නමුත් තෙල් ආපු ගමන් බස් හිමියෝ සහ රස්සාවේ යන්නේ නැති ධීවරයන් පෝලිමේ ඉදිරියට පැනල තෙල් අරගන්නවා. රස්සාවේ නොයන ධීවරයන්ගේ භූමිතෙල් බස් හිමියෝ වැඩි මිලට ගන්නවා. මුහුදු රක්ෂාව කරන සැබෑ ධීවරයන්ට තෙල් ලැබෙන්නේ නැහැ.

මේ හේතුවෙන් ධීවර රක්ෂාව කරගෙන යන්න බැරිවී තිබෙනවා. අද බඩු මිල අහස උසට නැගල. දුප්පත් අපට දරා ගන්න බැහැ. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලා සිටිනවා.

බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි දෙදරු පියෙකු වන ඉන්ද්‍රජිත් කුවින්දාහන්දි මහතා (57) මෙසේ කීය.

මම අවුරුදු 12 සිට මේ රක්ෂාව කරන්නේ. මේ ප්‍රශ්නය ඇතිවුණේ මීට මාසයකට දෙකක සිටයි. බළපිටිය සහ අහුන්ගල්ල ෂෙඩ් දෙකේ බස් කාරයෝ ටැප් තියාගෙන ඉඳල එන භූමිතෙල් ටික සේරම ගන්නවා. ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් වෙන අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 87 යි වෙන්නේ. අපේ ඇතැම් ධීවරයෝ තෙල් සහනාධාරය අවභාවිතා කරනවා. ඔවුන් රුපියල් 87 ට ගන්න භූමිතෙල් ලීටරය රුපියල් 300 ට බස් හිමියන්ට විකුණනවා.

දැන් බස් සියල්ලම දුවන්නේ ඩීසල් වලින් නොව භූමිතෙල් වලින්. ඩීසල් මිල වැඩි කළ ගමන් බස් ගාස්තුව දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කරනවා. මේ නිසා ඉදිරියේ දී බස් වලට ඩීසල් නොදී භූමිතෙල් පමණක් දීලා බස් ගාස්තුව සියයට හැත්තෑවකින් විතර අඩු කරන්න කියල රජයෙන් ඉල්ලා සිටිනවා. ගැමුණු විජේරත්න මහත්තයාගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන අවධානය යොමු කරන්න කියලයි.

තරුණ ධීවරයෙකු වන ඒ. රවිඳු ප්‍රියාන් මැන්දිස් මහතා (40) පැවසුවේ මේ අයුරින්ය.

පාසල් වියෙන් පස්සේ මේ රක්ෂාව කරන්නේ. බෝට්ටු දුවන්නේ භූමිතෙල් වලින්. පැට්‍රල් වලින් ඇන්ජිම ස්ටාර්ට් කරන්නේ. භූමිතෙල් වලට ඔයිල් කලවම් කරල ඇන්ජිමට දමන්නේ. එක මාසයකට තෙල් ලීටර් පන්සියයක් ලැබෙනවා. අපි දවසට හතර ගමනක් යනවා. එක වරකට තෙල් ලීටර් 30 ක් යනවා. දිය වැලේ හුළං මාරියාව තිබුණම ඊටත් වැඩියෙන් තෙල් පිච්චෙනවා. ලැබෙන තෙල් ටිකවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. සමහර දවසට මාළු නැතුව ගොඩ එන දවස් තිබෙනවා. ඇතැම් ධීවරයන් කියා ගන්නා පිරිසක් ෂෙඩ් වල පෝලිමේ ඉදිරියෙන්ම ඉඳල තෙල් අරගෙන බස් හිමියන්ට විකුණනවා. මේ ගැන පියවරක් ගන්නා ලෙස ධීවර ඇමැතිතුමාගෙන් සහ ඛනිජ තෙල් ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයි ද කීය.

– ජයකාන්ත ලියනගේ

74 views



Source link

Related posts

lankacgossip | ‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’

Rohan

lankacgossip | ‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනිකයි.. යූරියා අකාබනිකයි..’ අපට දේශපාලඥයන්ගෙන් ඉගෙනගන්න වෙනවා..

Rohan

lankacgossip | කොළඹ උපකුලපතිනියගේ හැසිරීම සැක සහිතයි.. සමාව ගන්නැයි කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy