April 22, 2022 at 8:02 am | lankacgossip
පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කිරීම සදහා ආණ්ඩුව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේයි.
පාස්කු ප්‍රහාරය සිදුවුනේ පසුගිය යහපාලන රජය කාලයේදියි. ඒ සම්බන්ධව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වූ සටහන් ඔබතුමාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේ වන විටත් ජනාධිපති කොමිෂන් සභාවේ සම්පුර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 735ක් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අතරින් 196 දෙනෙක් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. රැඳවුම් නියෝග මත 19 දෙනෙක් සිටිනවා. ඉන් 81ක් දෙනෙකුගේ පරීක්ෂණ අවසන් කර චෝදනා ගොනුකර ඇති තිබෙනවා. ඇප මත නිදහස් කළ පුද්ගලයින් ප්‍රමාණය 453යි. ඒ වගේම සැකකරුවන් 79 දෙනෙකුට ගම්පහ, මහනුවර, කුරුණෑගල, පුත්තලම, නුවරඑළිය, මඩකළපුව මහාධිකරණ වල හා කොළඹ, කෑගල්ල මහාධිකරණ වල ඇති විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණවල දී චෝදනා 25753කට අදාළව නඩු 27ක් පැවරීමට කටයුතු කරල තියනවා.
මෙම විමර්ශන හා නඩු පැවරීම සඳහා ඇමරිකානු රහස් ඔත්තු සේවය, ඕස්ට්‍රේලියානු රාජ්‍ය බුද්ධි අංශය සහ මාලදිවයින රාජ්‍ය බුද්ධි අංශය වල සහයෝගය ලබාගෙන තියෙනවා. ඒ වගේම ස්වයං ඝාතකයන් හා සංවිධාන සම්බන්ධයෙන් ලක්ෂ 3650ක් වටිනා ඉඩම් ගොඩනැගිලි, වාහන හා මුදල් රුපියල් ලක්ෂ 1680 ක් වටිනා රත්තරන් බඩු රාජ සන්තක කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මව්ලානා. ඔහු තමයි අන්තවාදී දේශන පවත්වා මෙම අන්තවාදීන්ව පුහුණු කළේ. මීට අමතරව ඇමරිකානු ෆෙඩරල් උසාවිය විසින් ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට නඩු පවරලා තියෙනවා. ඒ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් රිස්ඛාන්, මොහොමඩ් අහමන් මිල්ලාහ් කියන පුද්ගලයින්ට.
ඒ වගේම සාක්ෂි විභාගයේදී සාරා ජෙස්මින්ව නොදුටු බව තහවුරු වෙලා තියනවා.සාරා ජෙස්මින් පැනයන බව දුටුවායි කියන සාක්ෂිකරු මෙරටින් අතුරුදහන් වෙලා. ඔවුන් රටින් පැන ගොස් ඇතැයි සැක කරනවා.
ඒ වගේම ගරු කතානායකතුමනි,
නිලන්ත ජයවර්ධන සාක්ෂිකාරයෙක් වුණේ ඇයි කියන එක පහුගිය කාලේ හැමෝටම ඇතිවුණු ගැටලුවක්. ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා පාස්කු ප්‍රහාරය ජනාධිපතිතුමා බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියලා ජනගත කරන්න. පාස්කු ප්‍රහාරය සිදුවුණේ 2019 දියි. 2018 පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන බහුතරයක් ජයග්‍රහණය කළා. ඒ වෙලාවේ අපි කුමන්ත්‍රණයක් කරන්නේ කොහොමද. එදා විපක්ෂයේ හිටපු අය හැටියට අපි දන්නවා, ආණ්ඩු පක්ෂය දූෂණ මර්දන කමිටුව කියලා කමිටුවක් දාගෙන අපේ අයට නඩු පිට නඩු දාලා තිබුනේ. අපිට ඒවා එක්ක ගැටෙන්න සිද්ධ වුණා මිසක් කුමන්ත්‍රණයක් වගේ දෙයක් කරන්න ඕන උනේ නෑ.
ඒ වගේම නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකාරයෙක් වශයෙන් යෝජනා කළේ එවකට නීතිපති හැටියට කටයුතු කරපු දප්පුල ලිවේරා මහත්මයායි. එතුමා තමයි නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකාරයෙක් වශයෙන් පත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම දප්පුල ලිවේරා මහත්මයා විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියා පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව රටට ප්‍රකාශ කළා. සමහරවිට එතුමාගේ සේවා කාලය දීර්ඝ නොකිරීම නිසා වෙන්න පුළුවන්. වෙනත් හේතු වෙන්නත් පුළුවන්. එතුමා තමයි මේ මතය ජනගත කරන්න කටයුතු කරලා තියෙන්නේ.
පාස්කු ප්‍රහාරය ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා පාර්ලිමේන්තු අනු කමිටුවක් පත් කළේ චෝදනා ලබපු අයව නිදහස් කරලා සුදු හුණු ගාන්න කියන මතය ජනතාව අතර තියෙනවා. ඒක ඔබ දන්නවා. මේ වෙනකොට ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනවා.
මම අද උදෙත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන්න ලිපියක් සකස් කෙරුවා. ඒ ලිපියෙන් ඉල්ලා සිටියෙත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමයි. මොකද, අපිට පුළුවන් කමක් නෑ, අධිකරණ වලට බලපෑමක් කරන්න. අපි කරන්නෙත් නෑ. නීතිපති දෙපාර්තමේන්තුව හරහා මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ.
මම වගකීමෙන් කියනවා ගරු කථානායකතුමනි,
පාස්කු ප්‍රහාරයට මුහුණපෑ සියලු දෙනාටම සාධාරණයක් ඉෂ්ඨ කරන්න මමත් අපේ ආණ්ඩුවත් කටයුතු කරන බව.
– Media unit
0 views