April 15, 2022 at 12:02 am | lankacgossip
ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි.
ඔහු පවසන්නේ මේ වනවිට ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් මිලියන 100 ක් තරම් සොච්චම් විදේශ සංචිතයක් බවත් එයින් කළ හැකි දෙයක් නොමැති බවයි.
මේ නිසා, ඉදිරියේදී පොලී අනුපාත සියයට 25 ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ යා හැකි බවත් පිළිකාවක් හැදුණු රෝගියාගේ අතපය එකින් එක කපා ජීවිතය බේරාගැනීමට ගන්නා උත්සාහය වැනි උත්සාහයක් ලංකාවේ ආර්ථිකය බේරාගැනීම සඳහා මේ වනවිට ගැනීමට සිදුව තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.
“මහ බැංකු අධිපතිතුමා පළමු මුදල් මණ්ඩල රැස්වීමේදීම කරල තියෙන්නේ ලොකු ප්රාතිහාර්යක්. කඩදාසිත් නැතිවන තරමට මහ බැංකුව මුදල් අච්චු ගහල තියනවා. මහ බැංකුවේ මාණ්ඩලික නිළධාරීන් මේ අර්බුදයට චෝදනා කර තිබෙන්නේ මුදල් මණ්ඩලයට. ඉදිරියේදී අපිට ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර, ගේන්න ලොකු ප්‍රශ්න වෙනවා.“
ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ඩොලර් බිලියන 03 ක පමණ ණයක් ලබාගැනීමට හැකියාවක් තිබෙන බවත් එය වසර තුනකින් වාරික වශයෙන් ලැබෙනු ඇති බවයි.
“මෙම ණය මුදලටත් වඩා වටින්නේ මූල්‍ය අරමුදලට ගිය පසු ලංකාවට ලැබෙන විශ්වාසය. හැබැයි, දැන් ලංකාවට මූල්‍ය අරමුදලට යන්න වෙලා තියෙන්නේ ණය ගෙවීම අත්හිටවූ රටක් ලෙසයි. ඒක ලංකාවේ පෞර්ෂත්වය පහළ දැමීමට හේතුවක්.“
937 views