Sinhala

lankacgossip | ඖෂධවලට ඩොලර් නෑ.. හිගයක් එනවා.. – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්..


April 12, 2022 at 4:40 pm | lankacgossip

ඖෂධවලට ඩොලර් නෑ.. හිගයක් එනවා.. – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරට රෝහල්වල පවතින ඖෂ්‍ය හා වෛද්‍ය යෙදවුම් හිගය පිලිබදව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

රජයේ රෝහල්වල ඖෂධ පිලිබඳ තත්වය

ශ්‍රී ලංකාව තුල රාජ්‍ය සෞඛ්‍ය සේවයට අදාලව ජීවිතාරක්ෂක ඖෂධ 14ක්, අත්‍යවශ්‍ය ඖෂධ 646ක්, අත්‍යවශ්‍ය නොවන ඖෂධ 485, ශල්‍ය අයිතම 8100, විද්‍යාගාර අයිතම 4500 ලැයිස්තු ගත කර ඇත. රජයේ රෝහල්වල සාමාන්‍ය සෞඛ්‍ය සේවා ලබා දීමට අවශ්‍ය වන ඖෂධ සහ වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් ලබා ගැනීමේ දුෂ්කරතාවක් පැන නැගී ඇත. ඒ සඳහා ආසන්නතම හේතුව, 2021 වර්ෂයේ නොවැම්බර් පමණ සිට මෙකී අයිතමයන් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LC) විවෘත කිරීමට අවශ්‍ය ඩොලර් සහ අනෙකුත් විදේශ මුදල් ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීමයි. ඒ හැරුණු විට ඩොලරයේ අගය ඉහල යෑම නිසා ටෙන්ඩර් ප්‍රදාන ලබා තිබු ඇතැම් සැපයුම්කරුවන් ආනයනික ඖෂධ තව දුරටත් ලබා දිය නොහැකි බව දන්වා ඇත.

රාජ්‍ය අංශය සඳහා ඖෂධ සහ වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය සඳහා ඇනවුම් නිකුත් කරන්නේ වෛද්‍ය සැපයීම් ඒකකය මගිනි. එහි ප්‍රසම්පාදන කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් සිදු කරනු ලබයි. ප්‍රධාන ඖෂධයක හෝ වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍යයක ප්‍රසම්පාදන කටයුතු සම්පුර්ණයෙන් නිම කර එය ශ්‍රී ලංකාව වෙත ලැබීම සඳහා ආසන්න වශයෙන් මාස 6ත් 12ත් අතර කාලයක් ගත වේ. ණයවර ලිපි විවෘත කිරීමෙන් පසු ඒ සඳහා ගතවන කාලය ආසන්න වශයෙන් මාස 2 සිට 3 දක්වා වේ.

වෛද්‍ය සැපයීම් ඒකකය හරහා ඇනවුම් ලබා දීමේදීත්, අනතුරුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදීත් සාමාන්‍ය පරිදි කටයුතු සිදු විය. කෙසේ නමුත් ණයවර ලිපි විවෘත කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අප රාජ්‍ය අමාත්‍යතුමන්, අමාත්‍යාංශ ලේකම් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් නිරන්තරයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් දැනුවත් කර ණයවර ලිපි විවෘත කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරීය. නමුත් රටේ පැන නැගී ඇති විදේශ මුදල් අර්බුධය හමුවේ ඖෂධ සඳහා ණයවර ලිපි විවෘතකිරීම දිගින් දිගටම ප්‍රමාද විය.

මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවයේ ඇති වන අර්බුදය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන 2021.02.08 පාර්ලිමේන්තුව ද දැනුවත් කළ අතර එම පුවත 2022.02.09 බදාදා ලංකාදීප ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස “බෙහෙත්වලටත් ඩොලර් හරස් වෙයි” යනුවෙන් සඳහන් විය.

වර්ධනය වෙමින් පැවතුනු තත්වය හමුවේ ඖෂධ අර්බුදය කළමනාකරණය කිරීමට අප විසින් පහත ක්‍රියාමාර්ග ගනු ලැබුණි.

1. රාජ්‍ය අමාත්‍යතුමන්, අමාත්‍යාංශ ලේකම්, වෛද්‍ය සැපයීම් ඒකකය සහ ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහල නිලධාරීන් ගෙන් සමන්විත හදිසි ප්‍රතිචාර කමිටුවක් ඇති කළ අතර, දින දෙකකට වරක් ඖෂධ සහ වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍යවල තත්ත්වය පිළිබඳ සමාලෝචනය කර, අඩුපාඩු ඇති ස්ථානවලට ප්‍රති-බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට කටයුතු කෙරිණි.
2. රෝහල් පද්ධතිය තුල යම් ඖෂධයක හිඟයක් ඇති වන්නේ නම් ඒ පිළිබඳ දැනුම් දීමට “ඔසු දිරිය” ක්ෂණික ඇමතුම් ඒකකය සක්‍රීය කිරීමට කටයුතු යොදන ලදී.
3. දේශීය නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගෙන් ලබා ගත හැකි ඖෂධ සහ වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු යෙදිණ. ඒ අනුව සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රැන්, ඩෙක්ස්ට්‍රෝස් ඇතුළු තවත් ඖෂධ ගණනාවක් කඩිනමින් රාජ්‍ය ආයතන වෙත දේශීය නිෂ්පාදකයාගෙන් ලබා ගැනීමට කටයුතු කෙරිණි.
4. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය අමතා කඩිනමින් වෛද්‍යාධාර ලබා දෙන මෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා අවශ්‍ය ලැයිස්තු ද පිළියෙළ කර භාර දෙන ලදී. ඉදිරි සති කිහිපය තුල එම ඖෂධ තොග ද මෙරටට ලැබීමට නියමිතය.
5. ලෝක බැංකුවේ දකුණු ආසියාතික අධ්‍යක්ෂකවරිය මුණ ගැසී, ශ්‍රී ලංකාවට කඩිනමින් වෛද්‍යාධාර ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විශේෂයෙන් ඉල්ලීමක් සිදු කරන ලදී. ඊට ප්‍රතිචාර ලෙස මේ වන විටත් ඖෂධ සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා අරමුදල් ලබා දෙන බව තහවුරු කර ඇත.
6. රතු කුරුස සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, විදෙස් තානාපති කාර්යාල අමතා ශ්‍රී ලංකාවට උපකාර කරන ලෙස මේ වන විටත් දන්වා ඇත. ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇත.
7. වෛද්‍ය විද්‍යාව සම්බන්ධ අධ්‍යයනික ආයතන (colleges) සහ සෞඛ්‍ය වෘත්තීය සමිති වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කළ අතර ඖෂධ සහ වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි ලැබෙන තෙක් තත්ත්වය කළමනාකරණය කිරීමට ඔවුන්ගේ යෝජනා සහ සහාය ඉල්ලා සිටියේය.
8. ඉන්දීය රජයේ ණය ආධාර යටතේ ඖෂධ ලබා ගැනීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක පහසුකම් ලබා දී ඇති අතර ඒ සඳහා වෛද්‍ය සැපයීම් අංශය වෙතින් ඇණවුම් කර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ප්‍රසම්පාදනය කටයුතු සුදානම් කර ඖෂධ වර්ග 120ක් පමණ ලබා ගැනීමට මේ වන විටත් ලියකියවිලි ඉන්දියානු ආයතන වෙත ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඖෂධ සැපයුම්කරුවා ඉන්දියාවයි.

ඖෂධ පිළිබඳව ප්‍රමාදව තිබූ ණයවර ලිපි බොහොමයක් මේ වනවිට විවෘත කර ගැනීමට හැකි වී ඇත. කෙසේ නමුත් සැපයුම්කරුවන් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ ණයවර ලිපි විවෘත වූ පසුවයි. එහෙයින් මෙම ඖෂධ, වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ලැබෙන විට තවත් සති කිහිපයක් ගතවනු ඇත. එතෙක් රෝහල්වල සාමාන්‍ය කටටයුතු පවත්වාගැනීම සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය බොහොමයක් තිබුනද වර්ග 10-20 % ප්‍රමාණයක හිඟයක් මතුවනු ඇත. ඖෂධ, වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය සැපයුම සාමාන්‍ය තත්වයට පත්වන තෙක් හිඟයක් මතුවන ද්‍රව්‍ය ලබා ගැනීමට රටට ආදරය කරන ඔබ සියුලු දෙනාගේ ගෞරවනීය සහයෝගය අපි අපේක්ෂා කරමු.

සැබෑ තත්වය වසන් කිරීම භයානක වන අතරම මාධ්‍ය ප්‍රචාරය හෝ වෙනත් අරමුණක් සඳහා අර්බුධය අතිශයෝක්තියෙන් විග්‍රහ කිරීමද එක සේ අනතුරුදායකය. ඖෂධ හිඟයෙන් සුනාමිය හෝ කොටි ත්‍රස්තවාදයටත් වඩා ව්‍යසනයක් ඇතිවන බවත් ජීවිත අහිමි වන බවත් හුවා දක්වමින් සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර එවැනි ව්‍යසනයක් වලක්වා ගැනීමට අපි සියලු දෙනා දැඩි කැපවීමෙන් කටයුතු කරමු. ඇතැම් රෝහල්වල ඖෂධ, වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය නැතිබවට දිගින් දිගටම හුවා දක්වමින් සමාජ මාධ්‍යවල පල වූ ඇතැම් වාර්තා නිවැරදි නැත.

තවද රෝහල්වලට ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දෙන බව පවසමින් විවිධ පාර්ශව වංචනික ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කිරීමේ කටයුත්තක් දියත්ව කර ඇති බවටද තොරතුරු ලැබෙමින් ඇත.

ඖෂධ, වෛද්‍ය/ශල්‍ය පාරිභෝජක ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නේනම් ඍජුව වෛද්‍ය සැපයුම් ඒකකයටම (MSD) ලබා දිය හැක. ඖෂධ සඳහා මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට විශේෂිත විදෙස් මුදල් ගිණුමක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ආරම්භ කිරීමට මුදල් ලේකම්වරයා කටයුතු යොදමින් ඇත. එම ගිණුම විගණකාධිපති අධීක්ෂණයට යටත්වනු ඇත. එහි විස්තර ලැබුණු විගස ප්‍රසිද්ධ කිරීමට කටයුතු යෙදේ

වෛද්‍ය චන්දන විජේසිංහ 071 824 5095
වෛද්‍ය සැපයීම් ඒකකය
වෛද්‍ය අන්වර් හම්දානි 077 121 4131
අධ්‍යක්ෂ, වෛද්‍ය තාක්ෂණික සේවා, සෞඛ්‍ය අමාත්‍යාංශය

මාධ්‍ය අංශය
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

0 views



Source link

Related posts

lankacgossip | ලංකා-මහජන බැංකු දෙකට ජනපතිගෙන් විශේෂ උපදෙසක්…

Rohan

lankacgossip | රටේ මොන තරම් ප්‍රශ්න තිබුනත් සැණකෙලිය පවත්වනවා..

Rohan

lankacgossip | පේසාලේ ලිං 04න් 03කම තෙල් හමුවේ.. ලංකාවේ තෙල් කණින්න ලොව දැවැන්ත Total, ExxonMobil එයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy