March 23, 2022 at 11:20 am | lankacgossip
මෙරට ගුවන් කලාපය ඉන්දියාවට විකුණා දැමීමටත් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ඇඟිලි සලකුණු ඉන්දියාවට ලබා දීමටත් අවශ්‍ය කැබිනට් පත්‍රිකා රජය සකස් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු පැවසීය.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පසුගියදා ඉන්දියාවට ගොස්, ඊට අදාළ අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බවත් ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
බදුල්ල ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම ගිවිසුම් අතර සමුද්‍රීය මුදවා ගැනීම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වන ගිවිසුම හරහා මෙරට ආරක්ෂාව සම්බන්ධ සම්පූර්ණ අයිතිය ඉන්දියාව සතු වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ගිවිසුමට අනුව එම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට සූදානම් වන්නේ මෙරට නාවික හමුදා මූලස්ථානයේ වන අතර එහි තවත් අනු ආයතනයක් හම්බන්තොට ස්ථාපිත කිරීමට සූදානමක් ඇති බව ද හෙතෙම කීවේය.
එමෙන්ම මෙරට ජනතාවගේ ජීව දත්ත ලබා ගැනීමේ අයිතිය ඉන්දියාවට ලබා දීම සඳහා වන ගිවිසුමකට ද අත්සන් කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති අතර ඩ්‍රෝන යානා සඳහා මෙරට ගුවන ඉන්දියාවට විකුණා දැමීම සඳහා වන ගිවිසුමකටද අත්සන් කර තිබේ යැයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
– අරුණ
1,996 views