Sinhala

lankacgossip | පසුගිය වසර එකහමාරේදී අපි ඔලිම්පික් පදක්කම් පවා දින්නා.. ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් ලැබුවා…


March 12, 2022 at 4:40 pm | lankacgossip

පසුගිය වසර එකහමාරේදී අපි ඔලිම්පික් පදක්කම් පවා දින්නා..  ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් ලැබුවා…

‘විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම අරගලයට ක්‍රීඩාව අරගෙන ඒම පිළිබදව මම ක්‍රීඩා අමාත්‍යවරයා විදියට සතුටුවෙනවා’ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි

දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම හා ඉදිකිරීමට යෝජිත පිහිනුම් තටාකය සදහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

රුපියල් මිලියන 105 ක් වැයකර ඉදිකළ දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, කායවර්ධන මධ්‍යස්ථානය, ක්‍රීඩා උපකරණ වෙළඳසැල්, ආපන ශාලා පහසුකම් සහිත ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම හා රුපියල් මිලියන 220 ක් වැයකර ඉදිකිරීමට යෝජිත පිහිනුම් තටාකය සදහා මුල්ගල් තැබීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සුරතින් සිදුවිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මැතිතුමගේ කාලයේ විශාල සංවර්ධන වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා. බොහෝ සංවර්ධන වැඩසටහන් පසුගිය කාල සීමාවේ නතර වී තිබෙනවා. වර්තමාන නගරාධිපතිතුමා සියලු මන්ත්‍රීවරුන් සමග එකතුවෙලා මේ ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු ආරම්භ කර ක්‍රීඩාගාරය සාදා නිමකර පිහිනුම් තටාකය ඉදි කරන්න මුල්ගල තැබීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. ඒ සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මම ඔබ සැමට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

ක්‍රීඩාවේ යටිතල පහසුකම් යාවත්කාලීන කරන්න අපි විශාල උත්සාහයක් දරනවා. වර්තමානයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා  ඒ සදහා වෙන් වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් තේනුක විදානගමගේ මැතිතුමා පත් කර තිබෙනවා. ක්‍රීඩා පාසල්වල, පාසල්වල මෙන්ම ග්‍රාමීය හා නාගරික ක්‍රීඩාංගණවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට විශේෂ වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් විදියට එතුමා විශාල වැඩ කොටසක් කරනවා.

පසුගිය වසරේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ග්‍රාම සේවා වසම් මට්ටමින් අධ්‍යාපන කලාප නියෝජනය කරමින්, මැතිවරණ බල ප්‍රදේශ නියෝජනය කරමින් ක්‍රීඩාංගණ  350කට වැඩි ප්‍රමාණයක් හදන්න අපි කටයුතු කළා.

මේ වසරේදීත් ක්‍රීඩාංගණ ගොඩනඟන්න අපි වැඩකටයුතු සැළසුම් කර තිබෙනවා යටිතල පහසුකම් සංවර්ධන කිරීම තුළින්ම දක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් බිහිවෙන්නේ නැහැ කියන කාරණය අපි මතක තබා ගත යුතුයි. ඒ සදහා විධිමත් පුහුණුවක් තිබිය යුතුයි. හොදින් පුහුණුවීම් කරන ක්‍රීඩකයින්ගේ හික්මීම, විනය කියන කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු ව තිබෙනවා.

ක්‍රීඩකයින්, මේ සංවර්ධනය කළ ක්‍රීඩාගාර, පිහිනුම් තටාක උපයෝගී කරගෙන තමන්ගේ පුහුණුවීම් කටයුතු නිසි ආකාරයෙන් සිදු කළහොත් ජාතික මට්ටමින් එහාට ගිය ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණවලට ඔවුන්ට යන්න පුලුවන්.

අපේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය යහපත්ව ගොඩනැඟීම විශාලම අභියෝගය වී තිබෙනවා. බොහෝ ක්‍රීඩකයින් උත්සාහ කරන්නේ පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් ඔවුන්ගේ ක්‍රීඩාව අවසන් කරන්න. අපේ දරුවෝ පාසල් කාලයේ හොඳින් ක්‍රීඩා කරනවා. පාසල් හැර ගිය පසු ඔවුන් ක්‍රීඩාවේ රැදී ඉන්නේ නැහැ. අද අපි උත්සාහ කරන්නේ පළාත් මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ව ජාත්‍යාන්තර තලයට රැගෙන යන්න පුලුවන් මාවත නිර්මාණය කරන්නයි.

පසුගිය වසර එකහමාරක පමණ කාල සීමාව තුළ අපි ජාත්‍යන්තර වශයෙන් විශාල ජයග්‍රහණ රාශියක් ලැබුවා. ඔලිම්පික් පදක්කම් ජයග්‍රහණ පවා අපේ රටට ගේන්න කටයුතු කළා. ගිනස් වාර්තා අතරට යන්න පුලුවන් තරමට අපි අපේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය සකස් කර අවසන්.

අපේ ඉලක්කය වෙන්නේ මෙවා දිගුකාලීන ජයග්‍රහණ බවට පරිවර්තනය කරගැනීමයි. එක ජයග්‍රහණයකින්, එක පදක්කමකින් අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම යටිතල පහසුකම් උපයෝගී කරගෙන තමන්ගේ ක්‍රීඩා ජීවිතය තුළ ජාත්‍යාන්තර ජයග්‍රහණ වෙත යන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි අද නිර්මාණය කර තිබෙනවා.

උසස් දක්ෂතා සදහා වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. තමන්ගේ සාධනීය මට්ටම තුළ ක්‍රීඩකයා විදේශ පුහුණවකට යනවාද, දීමනාවක් ලබා දෙනවාද යන සියලු කාරණා තීන්දු කරන්නේ ඔවුන්ගේ පුහුණුවීම් කටයුතුවල තිබෙන වර්ධනය අනුව හා ඔවුන්ගේ දක්ෂතා දැක්වීම් මතයි.

ක්‍රිකට් ක්‍රිඩාවේ සිට අනෙකුත් සියලු ක්‍රීඩාවන්ගේ තීන්දු තීරණ ගනු ලබන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් හා දක්ෂතාවන් පදනම් කරගෙනයි. ජයග්‍රහණ කරා යාම අපේ අවසාන ඉලක්කයයි. බොහෝවිට අපේ ඊළග පරම්පරාව ක්‍රීඩාව තුළ රැඳීම එම ජයග්‍රහණ තුළ තීරණය වෙනවා.

පරාජයට පත්වෙන ක්‍රීඩාවක් දිහා අපි බලන්නේ අමුතු විදියට. ජයග්‍රහණය කරනකොට අපි ඒ දිහා බලන්නේ හොඳ විදියට. ක්‍රිකට් තරගයක් දිනනකොට අපි එකතුවෙලා හන්දියේ ක්‍රිකට් ගහනවා. වොලිබෝල් කණ්ඩායමක් ජයග්‍රහණය කරලා අපි ඒ සතුට විඳිනකොට හවසට මුලු ගමම එකතුවෙනවා වොලිබෝල් සෙල්ලම් කරන්න.

මාලදිවයින සමග අපි ෆුට්බෝල් සෙල්ලම් කර සම තැනට ආවා. ඊට පහුවදා ඉදලා අපේ දරුවෝ ෆුට්බොලය අරගෙන ක්‍රීඩා පිටියට බහිනවා. ජයග්‍රහණ මත මේ සියලු දේ පදනම් වී තිබෙනවා.

දෙහිවල ගල්කිස්ස කියන්නේ දක්ෂ ක්‍රීඩකයෝ බිහි කරපු ප්‍රදේශයක්. මම ක්‍රීඩා ජීවිතේ පටන් ගත්තෙත් දෙහිවල ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. මේ රටේ බොහෝ දක්ෂ ක්‍රීඩකයෝ බිහි කරපු නගරසභා බල ප්‍රදේශයක් කිවුවොත් නිවැරදියි. මේ යටිතල පහසුකම් වලින් ඉතාමත් හොඳ හා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්න හැකියාව ලැබෙයි කියන කාරණය අපි විස්වාශ කරනවා.

මේ සියල්ල ගොඩනැඟෙන්නේ මේ ප්‍රදේශයේ ජනතාගේ බදු මුදල්වලින්. ඒකත් අපි අමතක නොකළ යුතුයි. සමහරු හිතනවා ගොඩනැගිලි හදන එක ආණ්ඩුවේ වගකීමක් ජනතාව සතු අයිතියක් බව. නමුත් ආණ්ඩුව මේ හැමදෙයක්ම කරන්නේ ජනතාවගේ ම මුදල් වලින් බව අපි මතක තබාගත යුතුයි. ඒ නිසා මෙම සංවර්ධන ව්‍යාපෘති ඔබ වෙත ලබා දී ඒවා පරිහරණය කිරීමේදී ක්‍රීඩකයින් ඉතාමත් විනයානුකූලව කටුයතු කළ යුතුයි. මේවා ආරක්ෂා කිරීම ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමක් ද වනවා.

අදටත් ක්‍රීඩාවට ආදරය කරන දරුවෙක් පිට්ටනියට බහින්නේ පිට්ටනියට වැදලා. ඒක තමා ඇත්ත කතාව. පාසල් කණ්ඩායම්, ජාතික කණ්ඩායම් අදටත් පිට්ටනියට බහින්නේ පිට්ටනියට වැදලා. අපි පිට්ටනියට ආදරෙයි. අපි දන්නවා වැටුනාම කොච්චර රිදෙනවා කියන කාරණය. වැටෙනකොට රිදෙන්නෙ නැතිවෙන්න පිට්ටනිවල වවලා තිබෙන තණකොළ ටික බලාගන්න අපි කටයුතු කරන්න ඕන.

කානිවල්, සංගීත සංදර්ශන සදහා ක්‍රීඩා කරන පිට්ටනි ලබාදීමෙන් වැළකී සිටිම හොදයි කියන කාරණය ඉල්ලීමක් ලෙස අපි කරනවා. කෝටි ගණනක් ජනතා මුදල් යොදවලා අපි පිට්ටනි  හදනවා. නමුත් විවෘත කිරීමේ උත්සවයේදී ම පිට්ටනිය විනාශ වෙන වැඩකටයුතු සිදු වෙනවා. විවෘත කරන්න ලොකු සංගීත සංදර්ශනයක් පවත්වනවා. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

මට අපේ සහෝදරයෙක් එවලා තිබුණා යූ ටියුබ් වීඩියෝවක්. එකේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ උද්ඝෝෂණයක් පවත්වමින් කියනවා නාමල් බේබි ඇවිල්ලා අපිට යටිතල පහසුකම් හදලා දෙන්න කියලා. ඒ පිළිබඳ මම සතුටු වෙනවා. මගේ ඉලක්කය ක්‍රීඩා ආර්ථිකයක් වගේම ක්‍රීඩා සංස්කෘතියක් බිහි කරන එකයි.

මේක රටේ  ප්‍රශ්න බොහෝමයක් තිබෙන වෙලාවක්. ගෑස්,තෙල්, භාණ්ඩ මිල, එළවලු පළතුරු මිල වැනි සියලු ප්‍රශ්න අතරේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අද උද්ඝෝෂණය කරනවා ක්‍රීඩාවේ යටිතල පහසුකම් හදලා දෙන්න කියලා.

මමත්, තේනුක ඇමතිතුමාත් උත්සහා කළේ අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් හදන්නයි. ක්‍රීඩාවට දරුවන්ට එන්න තිබෙන උවමනාව ඇති කරන්නයි,  ක්‍රීඩාවට දරුවන්ගේ කැමැත්ත ඇති කරවන එකයි.

අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම අරගලයට ක්‍රීඩාව අරගෙන ඒම පිළිබදව මම ක්‍රීඩා අමාත්‍යවරයා විදියට සතුටු වෙනවා. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍ය දරුවන් මා සමග සාකච්ඡා සඳහා පැමිනේවි යැයි මා විස්වාශ කරනවා.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම පිළිබදව අපි සාකච්ඡා කළ යුතුයි. ක්‍රීඩා සංස්කෘතිය යනුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එයයි. මේ සම්බන්ධව මගේ සතුට ප්‍රකාශ කරන ගමන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රීඩාව සංවර්ධනය කරන්නේ කොහොමද කියන කාරණය අපි සමග සාකච්ඡා කරන්න මම ඒ දරුවන්ට ආරාධනා කරනවා.

පාරේ කෑ ගැහුවාට ක්‍රීඩාව සංවර්ධනය කරන්න බැහැ. ඒ සඳහා සැළසුම හදාගන්න අවශ්‍යයි. අපි පාරේ අරගලය කරමු විධිමත්ව ක්‍රීඩා සංස්කෘතිය තවත් ඉදිරියට අරගෙන යන්න ඒ ශිෂ්‍යයන්ගේ දායකත්වය ලැබෙන බව මම විශ්වාස කරනවා. ” යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පා.ම.ආචාර්ය විජයදාස රාජපක්ෂ, පා.ම. මේජර් ප්‍රදීප් උඳුගොඩ, දෙහිවල – ගල්කිස්ස මහා නගර සභා සභාපති නාවලගේ ස්ටැන්ලි ඩයස්, හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග, නියෝජ්‍ය නගරාධිපති අධිනීතීඥ කීර්ති උඩවත්ත යන මැති ඇමතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– මාධ්‍ය ඒකකය

143 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | ශ‍්‍රීලනිප තව පිරිසක් ආණ්ඩුවට.. යන පිරිස මෙන්න..

Rohan

lankacgossip | බස් ගාස්තු, පාන් බනිස් සියල්ල යලිත් මිල ඉහලට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy