Sinhala

lankacgossip | අපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..


January 10, 2022 at 6:20 am | lankacgossip

අපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..

අප එදිනෙදා වියදම් පියවා ගැනීමට පවා විදේශ රටවලින් ණය ගන්නා රටක් බවට පත්ව ඇති බවත් මෑත ඉතිහාසය පුරා මෙරට ආර්ථිකය මෙහෙයවූ කිසිවෙකුත් ඒ ගමන තුළ විදේශ විනිමය අර්බුදයකට මුහුණදීමට සිදුවන දිනයක් උදා වේ යැයි නොසිතූ බවත් පෙන්වාදුන් කර්මාන්ත අමාත්‍ය වීරවංශ මහතා මෙරට ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම්ගෙන ඒ අභියෝගයට සරිලන ලෙස වෙනස් වීමට හැකි වුවහොත් පමණක් රට හමුවේ වන සෙසු අභියෝග ද ජය ගත හැකි වනු ඇතැයි සඳහන් කරයි.

මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි පැවති ‘මධ්‍යම හා ඌව පළාත් සඳහා වන වෙළඳ සංසදය හා වෙළෙඳපොළ 2022’ සමාරම්භක උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ඌව සහ මධ්‍යම පළාත් කේන්ද්‍ර කරගෙන වසර 04ක් පුරා දිගහැරුණු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය බලගැන්වීමේ ක්‍රියාන්විතයක අවසාන අදියරේ මෙහෙයුමකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට ඇරයුම් කිරීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට මගේ කෘතවේදිත්වය පළ කිරීමට කැමතියි.

‘සෑහෙන ජයග්‍රහණයක්’

ලොවම දැඩි අභියෝග රැසකට මුහුණ පා ඇති මොහොතකයි ශ්‍රී ලංකාවේ අපි මේ අයුරින් මුණගැසෙන්නේ. වසංගතයට පෙර පැවති ලෝකයට වඩා වෙනස් ලෝකයක් තමයි අද අප ඉදිරිපිට නිර්මාණය වී තිබෙන්නේ. ලෝකය පුරාම රටවල රාජ්‍ය පාලනයන්ට මෙම වසංගත අභියෝගයෙන් මිදීමට සටන් කිරීමට සිදුව තිබුණා. අපත් රජයක් විදියට අන් සියලු අභියෝග ජය ගැනීමට සටන් වදිනවාට වඩා වැඩි ප්‍රමුඛතාවක් ලබා දී සටන් වැදුණේ කොවිඩ් වසංගතයෙන් මිඳීමටයි. එම සටනේ සෑහෙන ජයග්‍රහණයක් ලබාගෙන ඇති නිසයි අපට මේ විදිහට ශාලාවක එකතු වෙලා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අමතන්න, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක් පවත්වන්න අද හැකි වෙලා තිබෙන්නේ.

හිත ඇත්නම් පත කුඩාද ?’

දුප්පත්කම කියන එක අපි ඇතැම්විට විශ්වාස කරන්නේ ආර්ථික විද්‍යා මිනුම් දඬුවලින් පමණයි. ආර්ථික විද්‍යා මිනුම් දඬුවලට අනුව ඒක පුද්ගල ආදායම ඇසුරෙන් එක්තරා අංකයක් තිබෙනවා, ඒ අංකයට වඩා ආදායම අඩු නම් ඒ අයව සලකනවා දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින කොටස් විදිහට. දුප්පත්කම තිබෙන්නේ ආර්ථික විද්‍යා සංඛ්‍යාත්මක කරුණු දැක්වීමක් ඇතුළෙ පමණක් නොවෙයි, අපේ හිත ඇතුළේ, අපි හිතන විදිහ ඇතුළේ, අපේ හිත මෙහෙයවාගන්න අපට තිබෙන හයිය ඇතුළේ, එය තිබෙනවා. අපේ පැරැන්නන් පැවසූ ප්‍රස්ථාව පිරුළු අතරෙ මගේ හිතේ වඩාත්ම බලවත් ලෙස රැඳුණු ප්‍රස්ථාව පිරුළ තමයි ‘හිත ඇත්නම් පත කුඩාද?’යන්න. හිත ඇත්නම් පත කුඩාද?, කියා අපේ පැරැන්නන් ඇසුවේ හිතාගන්න බැරි දේවල් ඒ අයට හිතන්න පුළුවන් වුණු හින්දා. අපි කවුරුවත් අසා නැහැ දාගැබක් අසලදී අකුණක් ගසා මියගිය මිනිසකු ගැන. යම් දාගැබක් ඉදිකරනු ලබන්නේ එවැනි අනතුරක් සිදු වීමට ඇති අවදානම වැළැක්වීමේ තාක්ෂණයක් සහිතව යි. එහෙම කළේ බලවත්ව කල්පනා කරපු, හිත ඇත්නම් පත කුඩා ද, කියා විමසූ මිනිස්සු.

‘දුප්පත්කම හිතින් පරදවමු!’

අද තරුණ පිරිස පමණක් නොවෙයි වැඩිහිටියන් ද සමාජ මාධ්‍ය තුළ ප්‍රතිචාර දැක්වීම් සිදු කරනවා. කල්පනා කරලා බලන්න, ලෝකයේ පළමුවෙන්ම කලා කෘතියක් දිහා බලලා ඒ ගැන ප්‍රතිචාර දැක්වීමට ඉඩක් හදලා දුන්නේ කවුද? සීගිරියේ නිර්මාණ ශිල්පීන්. ඒ නිසා තමයි කිසිදු භේදයකින් තොරව කුලහීන, ප්‍රභූ සියලුදෙනාගේ ප්‍රතිචාර සහිත කැටපත් පවුරක් නිර්මාණය වූයේ. ඒ නිසා මෙහිදී වැදගත්ම දෙය තමයි දුප්පත්කම හිතින් පරද්දන එක. හිත දුප්පත් නම් සාක්කුවෙ කොච්චර සල්ලි තිබුණත් එයාට නැගිටින්න බැහැ. සාක්කුවේ සතයක් නැතත් හිත ශක්තිමත් නම් ඔහුට හෝ ඇයට නැගිටින්න පුළුවන්. යුරෝපා සංගමයේ ආධාර මතින් වසර 04ක් පුරා දිගහැරුණු මේ ක්‍රියාන්විතයේදී මේ සම්පත්දායකයන්ට පුළුවන්කමක් නැහැ ව්‍යවසායකයාගේ හිතට හයිය දෙන්න. ඔවුනට පුළුවන් හිත හයිය මිනිස්සුන්ට එතනින් එහාට යන්න උදව් කරන්න.

‘හිත හයිය මිනිස්සුන්ගේ ක්‍රියාන්විතයක්’

අපේ පැරැන්නන් කිසිදා හිතින් දුප්පත් වුණේ නැහැ. එදා අපේ රටේ තිබුණු ‘ආසියාතික නිෂ්පාදන රටාව’ කියන නිෂ්පාදන ක්‍රමය යටතේ සෑම මිනිසෙකුටම ස්වයංපෝෂිත ජීවන රටාවක් තිබුණා. ඒ නිසා තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තේ වගාව ආරම්භ කරන විට තේ වතුවල වැඩට යන්න මේ රටේ මිනිස්සු හිටියේ නැත්තෙ. ඒ කියන්නේ සූරා කන්න අතිරික්ත ශ්‍රමයක් තිබුණේ නැහැ. සෑම අයෙකුටම ජීවනෝපාය මාර්ගයක් තිබුණා. හිත හයිය, ඒ හිතෙන් ධනය උපදවන මාර්ග ගැන හිතන්න පුළුවන් මිනිස්සු, ඒ වගේම ස්වභාවධර්මයා ලබා දී ඇති දෙයින් ජයග්‍රහණ ගෙන එන්න පුළුවන් මිනිස්සු යන සියලුදෙනාගෙන් සැදුම්ලත් ක්‍රියාන්විතයක් දියත් වන ප්‍රමාණයට තමයි අපේ රට අද මුහුණ දී ඇති බොහෝ ගැටළුවලට අපට උත්තර සොයා ගන්න පුළුවන් වෙන්නේ.

මට පෙර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමන් විදේශ විනිමය අර්බුදය පිළිබඳව කතා කළා. අද අපි විදේශ රටවලින් ණය අරගෙන අපේ එදිනෙදා වියදම් පවා පියවා ගැනීමට පුරුදු වූ රටක්. රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සිට ලක්ෂ 15ට ඉහළ දමනවා, නමුත් ඔවුනට වැටුප් ගෙවීමට රටේ ආදායම මදි. ඒ නිසා ණයට අරගෙන ඔවුනට පඩි ගෙවන තත්ත්වයට අපේ රටේ ආර්ථිකය ගතවූ ඉතිහාසය තුළ පවත්වාගෙන ආවා. ඒ මුළු ඉතිහාසය පුරාම අපේ රටේ ආර්ථිකය මෙහෙයවපු කවුරුත් සිතුවේ නැහැ, ‘අපට මේ විදේශ විනිමය අර්බුදයට මුහුණදීමට සිදුවන දවසක් උදා වේවි’, කියා. ඒ පාලකයන් කල්පනා කළේ නැහැ ‘ඒ දවස උදා වන එක වළක්වන්න ඕනේ’ කියා. කොවිඩ් තත්ත්වය විසින් ඒ දවස අපට කලින් උදා කරලා දීලා තිබෙනවා. කොවිඩ් තත්ත්වය ආවත් නාවත් ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ ඒ අර්බුදයට මේ රටට මුහුණදීමට සිදුවෙනවා. ඒක වළක්වන්න බැහැ. කොවිඩ් තත්ත්වය ඒ අර්බුදය වඩාත් තීව්‍ර කරලා තිබෙනවා. අපි අද යථාර්ථය පිළිගන්න ඕනෙ. අපි හැමෝම සමගියෙන් එකතු වෙලා, ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම් අරන් ඒ අභියෝගයට සරිලන විදිහට වෙනස් වෙන්න පුළුවන් වුණොත් විතරයි රටක් හැටියට අපට සෙසු අභියෝග ජය ගත හැකි වෙන්නේ.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමෙන් පමණයි අපට එක් පැත්තකින් ආනයන ආදේශක නිෂ්පාදන මේ රටේ බිහි කිරීමට හැකි වන්නේ. අනෙක් පැත්තෙන් කුඩාවට පටන් ගන්නා නිෂ්පාදකයා විදේශ වෙළදපොළ කරා රැගෙන යාමට හැකි වෙන්නේ. යුරෝපා සංගමයෙන් ලැබුණු ආධාර නිසි පරිදි කළමනාකරණය කරමින් වසර 04ක් පුරා දියත් කළ මේ ඒකාබද්ධ ව්‍යාපෘතිය මගින් එක් පැත්තකින් මධ්‍යම හා ඌව පළාත් දෙකෙහි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා බලගැන්වීමටත් අනෙක් පැත්තෙන් එම නිෂ්පාදකයා වෙනුවෙන් වැඩකරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවල ඵලදායිතාව ඉහළ නංවන්නත් දැක්වූ දායකත්වය පිළිබඳ එම ව්‍යාපෘතිය මෙහෙයවූ ආයතනවලට මාගේ ගෞරවය සහ ප්‍රසාදය පළකර සිටිනවා. අවසන් වශයෙන් ‘හිතෙන් දුප්පත්කම පරද්දලා, රටට අවශ්‍ය ජයග්‍රාහී අනාගතය ගොඩනගන්න අපි සියලුදෙනාම ඇපකැප වෙමු!’ යි කියා ආරාධනා කරමින් ඔබ සැමට ජය පතනවා.

මෙම අවස්ථාවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, යුරෝපා සංගමයේ නියෝජිතවරිය ඇතුළු ඉහත ව්‍යාපෘතියට සම්පත් දායකත්වය සැපයූ සංවිධානවල නියෝජිතයෝ ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

261 views



Source link

Related posts

lankacgossip | නිධානයකින් ගත් කෝටි 3 ක ගජමුතු විකුණන්න යද්දී අල්ලයි…

Rohan

lankacgossip | ඩඩ්ලිලා දණ ගස්වන හැටි අපි දන්නවා.. ඒක ලගදිම බලාගන්න පුළුවනි..

Rohan

lankacgossip | ලංකාව මුහුදු කොල්ලකරුවන් පාලනය කරන අප‍්‍රිකා රටක් වගේ වෙලා.. යුද්දෙ දින්න කියන අයට මෝල් හිමියන් පාලනය බැරිද..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy