Sinhala

lankacgossip | ඩොලර් නැතිව අප ඉන්නේ අර්බුදයකයි.. බුද්ධිමත් ජනතාවනි මෙය තේරුම් ගන්න..


November 17, 2021 at 6:20 am | lankacgossip

ඩොලර් නැතිව අප ඉන්නේ අර්බුදයකයි.. බුද්ධිමත් ජනතාවනි මෙය තේරුම් ගන්න..

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ, සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභීන් සඳහා ජීවනෝපාය උපකරණ බෙදාදීම සහ ගෙවතු වගා වැඩසටහන සඳහා පළතුරු පැළ බෙදාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම වැඩසටහන ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය මතින් ගොඩනැගුණු අඩු අදායම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන යාම සදහා වන ”සමෘද්ධි අරුණළු” වැඩසටහන රට පුරා සාර්ථකව ක‍්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අනුව එහි ගම්පහ ආසනයේ ප‍්‍රතිලාභීන් හට ජීවනෝපාය උපකරණ බෙදාදීම සහ ගෙවතු වගා වැඩසටහන් සඳහා පළතුරු පැළ ලබාදීම සිදු කරන ලදි.

එහිදී ප‍්‍රතිලාභීන් ඇමතු රාජ්‍ය අමාත්‍යවරයා, ‘‘2019 වර්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනතාවගෙන් 69 ලක්ෂයක් එනම් 52% ක් ඡන්දය දෙන කොට ඒ අය අතරින් තිබුණු ප‍්‍රධාන අරමුණු තුනක්. පළවෙනි කාරණාව තමයි මේ රටේ තිබිච්ච ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව බිඳ වැටිලා පාස්කු ප‍්‍රහාරය සිදුවෙලා ත‍්‍රස්තවාදය දොර ලඟට ඇවිල්ලා මිනිස්සු භීතියෙන් ජීවත් වුණේ මොන වගේ අනතුරක් ඊ ළඟට සිදු වේවිද කියලා. ඒ වගේම ඒ වෙලාවේ මේ රටේ තිබුණා ව්‍යවස්ථාපිත අර්බුදයක්. 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙනවිත් බොහෝ කරුණු කාරණා වෙනස් කරලා ඒ තුළින් ඇතිකල වියවුල. ජනාධිපතිතුමාට ද අගමැතිතුමාටද බලය තිබෙන්නේ කියලා දන්නෙ නැතිව ආණ්ඩුව එක් එක් පැත්තට ඇද ඇද, තවත් අවස්ථාවක ආණ්ඩුව විසුරුවලා දින පනහක ආණ්ඩුවක් ඇවිල්ලා, ආයෙත් විසුරුවා හැරීම් අවලංගු කරලා පාර්ලිමේන්තුව නැවතත් විශාල කලබැගෑනියක් බවට පත්වුණා. ඒ වගේම එදා මේ රටේ සම්පූර්ණ පාලන බලය ටිකෙන් ටික යමින් තිබුණේ සුළු ජාතික පක්ෂවලට. සුළු ජාතික පක්ෂවලට ඕන විදිහට තමයි ආණ්ඩුව වැඩ කළේ. මේක ඉදිරියට ගියා නම් කාලයක් ගිහින් පළාත් සභා, පළාත් පාලන ආයතන තවදුරටත් ශක්තිමත් වෙලා මධ්‍ය රජය දුර්වලවන ව්‍යවස්ථාපිත ආර්බුදයක් ඒ වෙලාවේ ගොඩනැගෙමින් තිබුණා.

තුන්වන කාරණය වන ආර්ථිකය එදත් විශාල පරිහානියකට යමින් තිබුණා. 2015-2019 කාලයේ මේ රටේ ආර්ථිකය විශාල වශයෙන් කඩා වැටුණා. ආර්ථික සංවර්ධන වේගය 2.1 ට අඩුවුණා. රටේ විදේශ සංචිත අඩු වුණා. අපනයනය වර්ධනය වුණේ නැහැ. රැකියා ියුක්තිය වැඩි වුණා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කඩා වැටුණා. මිනිසුන්ට ස්වයං රැකියා කර ගන්න බැරි වුණා. විශාල වශයෙන් ආර්ථික අසීරුතා ඇතිවෙමින් තිබුණා එදත්. එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න එක තමයි අලූත් රජයෙන් බලපොරොත්තු වූ තුන්වන කාරණය.

මේ මාසේ 19 වෙනිදාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ධූර කාලයට වසර 2 ක් සපිරෙනවා. එම කාලය තුළ අපි ආපස්සට හැරී බැලූවොත් ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළුව 100% ක් ම වගේ අපි විසඳලා තියෙනවා. අද අපේ බුද්ධි අංශ රටපුරාම ශක්තිමත්. අද අපරාධ, පාතාලය නැහැ. ඒ නිසා ඒ පැත්තෙන් ජනාධිපතිතුමාගේ වගකීම උපරිම වශයෙන් ඉටු කරලා තියෙනවා.

ව්‍යවස්ථාපිත අර්බුදය අද නැහැ. අද සුළු ජාතික පක්ෂ තවදුරටත් මේ රටේ අනාගතය තීරණය කරන්නේ නැහැ. විදේශ රටවලට මේ රටට ඇඟිලි ගහන්න බැහැ. අද මේ රටේ නැවතත් ව්‍යවස්ථාපිත ස්ථාවරත්වයක් ඇවිත් තිබෙනවා. මෙම පළමුවෙනි කාරණා දෙකෙන්ම රජය මුළුමනින්ම සාර්ථක වෙලා තිබෙනවා.

තුන්වන කාරණය වන ආර්ථිකය ගත්තහම අපි හැමෝම එකඟ වෙනවා, තවමත් එම ප‍්‍රශ්නය විසඳිලා නැහැ. ජනාධිපතිතුමා භාර ගත්තේ ආර්ථික අතින් සමෘද්ධිමත් රටක් නෙමෙයි. 2015 රනිල් වික‍්‍රමසිංහ මහත්මයායි, මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයායි භාර ගත්තේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් දියුණුවෙන රටක්. ආසියාවේ දෙවෙනියට වේගයෙන්ම සංවර්ධනය වෙන රටක් භාර අරගෙන තමයි ඒ අය ආසියාවේ අඩුවෙන්ම වේගයෙන් සංවර්ධනය වන රට බවට පත් කළේ අවුරුදු පහක් ඇතුළත.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා භාර ගත්තේ ආර්ථික අර්බුධයක් තිබෙන රටක්. ඒ රට භාර ගන්නවත් එක්කම මොකද වුණේ 2019 දෙසැම්බර් මාසය වන විට ගෝලීය කොරෝනා අර්බුධය පටන් ගන්නවා. එම අර්බුධයත් සමග සටන් කර කර තමයි මේ ආර්ථිකය කළමනාකරණය කරගෙන එන්නේ. ඒ නිසා බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි මෙය සාමාන්‍ය තත්වයක් නෙමෙයි අසාමාන්‍ය තත්වයක් යටතේ තමයි මේ සියල්ල සිදු වුණේ. හැබැයි ඒ තත්වය යටතේ ජනතාවගේ පැත්තෙන් පාරවල් හදන එක, පාලම් හදන එක, පාසල්, සෞඛ්‍ය පහසුකම් ඇතිකරපුවා ඇතුළු හුඟක් පටන් ගත්ත වැඩ කෙරීගෙන ගියා. වැඩවල ප‍්‍රතිඵල පේන්න තව වසරක් දෙකක් යනවා විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයේදී.

තමුන්නාන්සේලාගේ ඇඟට දැනෙන ප‍්‍රශ්නය තමයි බඩුමිල වැඩිවෙන එක. මේක රටේ තිබෙන ලොකු කතිකාවතක්. ආණ්ඩුවට වැඩිවෙන බඩුමිල පාලනය කරන්න බැරි ඇයි කියන කාරණය ඔබලාට තිබෙන ලොකු ගැටළුවක්. 1978 මේ රටේ ආර්ථිකය විවෘත උනා. ඊට කලින් මේ රටේ තිබුණේ සංවෘත ආර්ථිකයක්. ඒ වෙලාවේ බඩු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ විශාල වැඩ කොටසක් රජය විසින් සිදු කළා. රජය සමූපකාර ක‍්‍රමය යටතේ තමයි හුඟක් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දෙනු ලැබුවේ. 1978 න් පස්සේ මේ තත්වය වෙනස් වෙලා විවෘත ආර්ථිකය ආවා. එදා සිට අදවන විට මේ රටේ කි‍්‍රයාත්මක වන්නේ විවෘත ආර්ථිකයේ අඩුවැඩි වශයෙන් වෙනස්කම් ඇතිව නිදහස් තරඟ කාරී ආර්ථික ක‍්‍රමයක්. අද තිබෙන වෙළෙඳපල තුළ රජයට කරන්න තිබෙන දේවල් ඉතාමත් සීමිතයි. එය මේ ආණ්ඩුවටත්, පසුගිය ආණ්ඩුවටත් මොන ආණ්ඩුවටත් එකයි. හැබැයි රජයට කරන්න පුළුවන් දේවල් තිබෙනවා. රජයට කරන්න පුළුවන් දේවල් මේ වෙලාවේ කෙරෙනවාද නොකෙරෙනවාද කියන කාරණය පැහැදිලි කරන්නම්.

බඩුමිල වැඩිවෙනවා කියන එක සදාතනික යතාර්ථයක්. වසර 20 කට පෙර තිබූ බඩුමිල පවත්වාගන්න කිසිම රජයකට හැකිවුණේ නැහැ. කොපමණ රජයන් මාරුවුණත් බඩුමිල ඉහළ යනවා. එය තමයි ලෝකය පුරාම තිබෙන උද්ධමනය ගත්තහම තිබෙන යතාර්ථය. හැබැයි එය දරා ගන්න බැරි තත්වයකට නොයන තැනට පාලනය කිරීම තමයි රජයක වගකීම. රජයකට බඩු මිල පාලනය කරන්න පුළුවන් කෙටි කාලීනව. දීර්ඝ කාලීනව අමාරුයි ලෝකයේ ඕනෑම රටක. කෙටිකාලීනව රජයක් බඩුමිල පාලනය කිරීම සඳහා භාවිත කරන මෙවලම තමයි බදු කළමනාකරණය සහ භාණ්ඩ ආනයනය අපනයනය. මේ ක‍්‍රමවලින් පමණයි බඩුමිල ඉහළ යන එක රජයකට පාලනය කරන්න පුළුවන්. බඩුමිල උච්ඡුාවචනය කිව්වහම මිල ඉහළ යන එකත් තියෙනවා, පහල යන එකත් තියෙනවා. ඒ දෙකම බලපාන පිරිස් ඉන්නවා.

ගෝලීය ආර්ථික ක‍්‍රමය ගත්තහම දේශීය නිෂ්පාදනත් තිබෙනවා. විදේශීය නිෂ්පාදනත් තිබෙනවා. දේශීය නිෂ්පාදන ඉහළ යන විට රජය මගින් විදේශීය නිෂ්පාදන ආනයනය සීමා කරනවා. එනම් දේශීය නිෂ්පාදන වැඩිවන අවස්ථාවලදී, විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන එම නිෂ්පාදනයන් සඳහා ආනයන බදු වැඩි කිරීමයි. එවිට විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා දේශීය නිෂ්පාදනයන්ට හොඳ වෙළෙඳපොලක් ලැබෙනවා වෙළඳපල තුළ සැපයුම සහ ඉල්ලූම තුළනය කර තිබෙන නිසා. වෙළෙඳ අමාත්‍යාංශය සාමානයෙන් සිදු කරන්නේ එයයි.

එහි අනෙක් පැත්ත තමයි දැන් සිදුවෙලා තිබෙන්නේ. බඩුමිල ඉහළ යෑම සිදු වන්නේ නිෂ්පාදනය අඩුවුණහම. මොකක් හෝ ප‍්‍රශ්නයක් ඇවිත් නිෂ්පාදනය අඩු උනහම ඉල්ලූමට සපයන බඩු ප‍්‍රමාණය රටතුළ නැහැ. එවිට වෙලෙන්දන් මෙයින් අයුතු ලාභ ගන්නවා. වෙලෙන්දා අධික මිලකට, අසාධාරණ මිලකට බඩු විකුණන්න පටන් ගන්නවා. භාණ්ඩ හංගනවා, කලූකඩ මිලකට විකුණනවා. ඒ වෙලාවට රජය කරන්නේ වෙළෙඳපලේ තිබෙන මිල පාලනය කිරීමට පිටරටින් භාණ්ඩ ආනයනය කරන එක වැඩි කරනවා. ඒ අනුව තරඟකාරී වෙළෙඳක‍්‍රමය තුළ කරන්නේ ආනයනික බදු අඩු කරනවා. භාණ්ඩ ගේන අයට වැඩිපුර සහන දෙනවා. වෙලෙන්දො මොකද කරන්නේ පිටරටින් භාණ්ඩ ගේන එක ලාභ නිසා භාණ්ඩ ගෙන්නන්න පටන් ගන්නවා. එමගින් මේ දෙක තුළනය වෙලා මිල අඩුකර ගැනීමට හැකිවෙනවා. මෙය සිදු නොවීම තමයි මෙම අවස්ථාවේදී තිබෙන ගැටළුව. භාණ්ඩ ආනයනය කිරීමට නම් අපට අවශ්‍යයි විදේශ මුදල්. මේ වෙලාවේ තමුන්නාන්සේලා හැමෝම අහලා තිබෙනවා මේ රටේ විශාල ඩොලර් අර්බුදයක් තිබෙනවා. ඒ විදේශ විනිමය අර්බුදය නිසා තමයි පිටරටින් භාණ්ඩ ගෙනවිත් බඩු මිල ඉහල යන එක පාලනය කරන්න බැරි. තමුන්නාන්සේලා අහන්න පුළුවන් මෙය රජයක වගකීමනේ ඩොලර් පාලනය කිරීම.

රටකට ඩොලර් එන්නේ කොහොමද? රටකට ඩොලර් එන්නේ පිටරටින්. සාමාණ්‍යයෙන් භාණ්ඩ අපනයනය මගින්, විදේශ රැකියා නියුතුවූවන් මගින්, ලංකාවේ සිදු කරන විදේශ ආයෝජන වැනි කාරණා තුළිනුයි ලංකාවට ඩොලර් එන්නේ. එම ඩොලර් වලින් අපි බඩු ගන්නවා නම් ගත යුත්තේ. අපේ රටේ සාමාන්‍යයෙන් පිටරටින් එන භාණ්ඩ සඳහා යන වියදමත්, අපි බඩු විකුණල ගන්න ආදායමත් ගත්තහම පිටරටින් එන භාණ්ඩ සඳහා වන වියදම සාමාන්‍යයෙන් අපි විකුණා ලබන ආදායමට වඩා දෙගුණයක් වෙනවා. ඩොලර් බිලියන 10 ක් අපි අපනයන මගින් ලබා ගන්නා විට ආනයන සඳහා ඩොලර් බිලියන 20 ක් වැයවෙනවා. ඩොලර් බිලියන 10 ක විශාල පරතරයක් හැම වසරකම එමගින් ඇතිවී තිබෙනවා. එම පරතරය අපි පසුගිය කාලයේ පියවා ගත්තේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක පමණ ආදායමක් ආවා, විදේශ රැකියා නියුක්තිකයින්ගෙන් ඩොලර් බිලියන 7 ක පමණ ආදායමක්. එතකොට ඩොලර් බිලියන 12 ක පමණ ආදායමක් තිබුණා එම පරතරය පියවා ගැනීමට. පසුගිය කාලවල සෑම වසරකටම විදේශ ආයෝජන ආවා ඩොලර් බිලියන 1.5 ක පමණ. ඊට අමතරව අමතරව ලබා ගන්නා විදේශ ණය වලින් මෙවැනි විවිධාකාර ක‍්‍රම වලින් අපට ඩොලර් ආවා.

හැබැයි පසුගිය වසර දෙකේදී මෙම තත්වය වෙනස් උනා. මොකද්ද හේතුව පසුගිය වසර දෙකේ අපි මෙම ආණ්ඩුව භාර ගන්නා විට ඩොලර් සංචිත හොඳටම අඩු කරලා තමයි පසුගිය රජයට අපට මේ රට භාර දුන්නේ. 2015 ඒ අයට භාර දෙන විට ඩොලර් බිලියන 8.3 ක් භාර දුන්නා. එම වසර පහ තුළ එම සංචිත වැඩිවෙනවා වෙනුවට ඩොලර් බිලියන 7.2 ට බස්සලා තමයි තමයි අපට භාර දුන්නේ. ඊ ළඟට කොරෝනා ආවා. ඒ මගින් සංචාරක ව්‍යාපාරය මගින් එන ඩොලර් බිලියන 5 ම නැතිවෙලා ගියා. ඊ ළඟට විදේශ පේ‍්‍රෂණ මගින් එන ආදායම අඩු උනා මොකද ලක්ෂ දෙකක් පමණ පිටරටවල වැඩකරපු අය ලංකාවට ආවා. ඒ නිසා අර ප‍්‍රධාන වශයෙන් වෙළෙඳ පරතරය පියවා ගන්න තිබූ ක‍්‍රමවේදය නැතිව ගියා. ඊ ළඟට ආයෝජන නතර උනා. එමගින් අපට එන විශාල ආදායම අපට නැතිව ගියා. ඊට අමතරව වියදම වැඩි උනා. මේ රටේ කොරෝනා තත්වය පාලනය කිරීමට වැක්සීන් වැනි බොහෝ දේ ගෙන්වන්න උනා. මේ නිසා ලොකු ඩොලර් අර්බුදයක් ඇතිවෙන්න පටන් ගත්තා. එයට අමතරව පසුගිය වසර 20 – 30 ගත්තු ණය අපි තවම ගෙවනවා. ඩොලර් බිලියන් 11 ක් අපට පසුගිය වසර දෙකේ ණය ගෙවන්න සිදුවුණා. මේ නිසා බරපතල ප‍්‍රශ්නයක් ඇතිවුණා. ආනයන අපනයන පරතරය පියවා ගැනීමට සංචිත පාවිච්චි කරන්න සිදුවුණා. ඒ නිසා සංචිත ඩොලර් බිලියන 2.8 කට වගේ වැටුණා.

බඩු මිල පාලනය කිරීමට නම් පිටරටින් භාණ්ඩ ගෙන ආ යුතුයි. ඒ සඳහා සංචිත අවශ්‍ය වෙනවා. එම සංචිත පාවිච්චි කර තමයි දේශීය වෙළෙන්දන්ට ඩොලර් ලබාදෙන්නේ. සීනී, හාල්, පරිප්පු, ලූණු ගෙන්වන්න වෙළෙන්දෝ බැංකුවට රුපියල් දීලා ඩොලර් ගන්නවා. ඩොලර් නැත්නම් වෙළෙන්දට භාණ්ඩ ගෙන්වන්න බැහැ. මෙය තමයි අද මේ වෙලාවේ තිබෙන අර්බුදය. සංචාරක ව්‍යාපාරය දියුණු කරලා, විදේශ ආයෝජන හෝ ණය ගෙනවිල්ලා මේ ඩොලර් අර්බුදය ඉදිරි වසර දෙක තුළ විසඳා ගන්නා තුරු වර්තමාන රජය යම්කිසි ගැටළුවක පැටලී සිටිනවා මෙයට කලින් රජයන්ට නොතිබූ. මා විශ්වාස කරනවා අපේ රටේ සිටින බුද්ධිමත් ජනතාව මෙම තත්වය තේරුම් ගනිවි කියලා’’ යැයි පැවසීය.

මේ අවස්ථාවට ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ සභාපති, ගම්පහ දිස්ත‍්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමන්, ගම්පහ ප‍්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලූ නිළධාරීන් පිරිසක්ද සහභාගී විය.

– ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර

664 views



Source link

Related posts

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් මිලට ගැනීමේදී වංචාවක්.. රු1302 වන එකක් රු.5230ට මිලට අරන්..

Rohan

lankacgossip | වසර පහක් ඉන්න බෑ.. ඉක්මනට අපට බාර දී රට බේරාගන්න…

Rohan

lankacgossip | යුගදනවි ගිවිසුම තොරතුරු හෙලිකිරීම තහනම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy