Sinhala

lankacgossip | ඩොලර් බිලියන 2.5ක ණයක් ගන්න 7%ක ගාස්තුවක් ගෙවන කතාව ඇත්තක්..


October 11, 2021 at 10:22 pm | lankacgossip

ඩොලර් බිලියන 2.5ක ණයක් ගන්න 7%ක ගාස්තුවක් ගෙවන කතාව ඇත්තක්..- ගම්මන්පිල

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාරයන් කරමින් පාළු ගෙවල් වල වලං බිඳීම වෙනුවට තමන් සමග රූපවාහිනී සංවාදයකට සහභාගි වන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට ආරාධනා කරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශකර සිටියේය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය මම ඉන්දියාවට දෙන්න යනවා කියා ඛනිජතෙල් වෘත්තීය සමිති විසින් බරපතල චෝදනාවක් එල්ල කරනවා. ලෝකය පෙරලෙනවා කියා හාවා පස්සේ දිවූ සත්තු රැල වගේ සොයන්නේ බලන්නේ නැතුව විපක්ෂයත් ඒ චෝදනාවම කරනවා. මට ඉන්දියාවට තෙල් ටැංකි දෙන්න දෙයක් නෑ. 2003 පෙබරවාරි 7 එවකට පැවති එජාප රජය විසින් තෙල් ටැංකි 99 ම ඉන්දියාවට දීල ඉවරයි. ඒ ගිවිසුම දැක ගන්න ඕනෑ නම් මගේ udayagammanpila.com වෙබ් අඩවියට මා එය එක්කරලා තියෙනවා. ඕන කෙනෙකුට ඒ ගිවිසුම බලලා මම කියන්නේ ඇත්ත ද විපක්ෂය සහ වෘත්තීය සමිති කියන්නේ ඇත්තද කියලා සොයා බලන්න පුළුවන්. 2003 පෙබරවාරි 7 දින අත්සන් කල ගිවිසුම මම ඔක්තෝම්බර් 6 වෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කලා. මම උත්සාහ කරන්නේ තෙල් ටැංකි ආපසු ඉන්දියාවෙන් ගන්නයි. අවාසනාවට ඉන්දියානු ඒජන්තයන් සහ ඉන්දියානු න්‍යයපත්‍රයට අනුව ක්‍රියාත්මක වන බලවේග විසින් ඒ උත්සහය නතර කිරීමේ ව්‍යාපාරයක් දැන් ආරම්භකර තිබෙනවා.

තෙල් ටැංකි 99ම ඉන්දියාවට දීලා කියලා මම පාර්ලිමේන්තුවේ කිව්වාම සමගි ජන බලවේගයේ කබීර් හසීම් මන්ත්‍රිතුමා කිව්වේ දුන්නේ ටැංකි 15යි, ඒකත් 2023 දී ආපසු ලැබෙනවා, ඒකත් අපි අත්සන් කරලා තිබෙන්නේ ගිවිසුමක් නෙවෙයි අවබෝධතා ගිවිසුමක් නැතිනම් එම්ඕයූ එකක් කියලයි. ඔවුන් අත්සන් කල ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරලා කබීර් හසීම් මන්ත්‍රිතුමන්ට අභියෝග කලා ඔබ කියන්නේ බොරු. එහෙම එම්ඕයූ එකක් නෑ පුලුවන් නම් අද දිනය ඇතුලත ඔය කියන එම්ඕයූ එක පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. පාර්ලිමේන්තුවේ කටයුතු ඉවරවෙන විට අවසන් කතාව කරන්න තිබුනෙත් මටයි. මගේ කතාව කරන්න මම නැගිටින විට කබීර් මන්ත්‍රිතුමන්ගේ එම්ඕයූ එකත් නෑ. කබීර් මන්ත්‍රිතුමත් නෑ. පසුව දා කබීර් මන්ත්‍රිතුමා පාර්ලිමේන්තු ආවෙත් නෑ. මම කබීර් මන්ත්‍රිතුමන්ට කියනවා ඔය එම්ඕයූ එක අරන් පාර්ලිමේන්තු එන්න හිටියොත් ආයේ කවදාවත් එතුමන්ට පාර්ලිමේන්තු එන්න ලැබෙන්නේ නෑ. මොකද එහෙම එම්ඕයූ එකක් නෑ. එමනිසා ඔන්න ඔය එම්ඕයූ එක අමතක කරලා දාලා ආයෙත් පාර්ලිමේන්තු එන්න කියලා මම කබීර් හසීම් මන්ත්‍රිතුමන්ට ආරාධනා කරණවා.

මේ දිනවල ඛනිජතෙල් වෘත්තීය සමිති විසින් භික්ෂුන් වහන්සේලා සහ ජාතික සංවිධාන හමු වෙලා මම තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න හදනවා ඒකට එරෙහිව පෙළගැසෙන්න යැයි ඉල්ලීමක් කරණවා. ඒ වගේම මේ තෙල් ටැංකි ගැන විවිධ බොරු ප්‍රචාරය කරනවා. ඒ නිසා පාළු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව මා සමග රූපවාහිනි සංවාදයකට එන්න කියා මම තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුවට ඉතාම කාරුණිකව ආරාධනා කරනවා. ඔවුන් කියන්නේ ඇත්ත බවට ඔවුන්ට විශ්වාස නම් ඔවුන් ඉන්දියානු න්‍යාය පත්‍රයකට නැටවෙන බව ඔවුන් විශ්වාස කරන්නේ නැතිනම් මම හිතනවා ඒ අය මා සමග රූපවාහිනී සංවාදයකට පැමිනේවි කියලා. මා කියනා දෙය බොරුයි කියලා ඔවුන් ඔප්පු කලොත් මම නිහතමානීව ඒ දෙය පිළිඅරගෙන ඔවුන්ගේ තෙල් ටැංකි රැකගැනීමේ සටනට එකතුවෙන්න සූදානම්. ඔවුන් කියන්නේ බොරුයි කියලා සංවාදයේ දී ඔප්පු වුනොත් මෙතෙක් බොරු බිල්ලෙක් මවලා ජනතාව නොමග යැවීම පිළිබදව ඔවුන් ජාතියේන සමාව ගත යුතුමයි.

ඩොලර් බිලියන 2.5ක ණය මුදලේ ඇත්ත කතාව

අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමාත් ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රිතුමාත් තෙල් සංස්ථාව විශාල කොමිස් මුදලක් ගෙවලා ඩොලර් බිලියන 2.5 ක ණය මුදලක් ගන්න යන බවට මාධ්‍ය ඉදිරියේත් පාර්ලිමේන්තුවේත් චෝදනාවක් කලා.

ඛනිජතෙල් සංස්ථාව ඩොලර් බිලියන 3.6ක් රාජ්‍ය බැංකු දෙකට, ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණයයි. මේ ඩොලර් ණය සඳහා වාර්ෂිකව 5.5% පොලියක් ගෙවනවා. ඒ අතරේ පසුගිය වසර ගණනාවක් පුරා ඊට වඩා අඩු පොලියට තෙල් සංස්ථාවට ණය ලබා දීමට විවිධ පාර්ශව යෝජනා ඉදිරිපත් කර තිබුණා. මේ යෝජනා නොසලකා හිටියොත් අඩු පොලි ණය ගැනීමට හැකියාව තිබිය දී සංස්ථාව වැඩි පොලියට ණය ලබා ගෙන ජනතාව මත පටවනවා කියන චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රසිද්ධ දැන්වීම් පල කරලා විධිමත් යෝජනා කැඳවීමකින් අඩු පොලි ණය ලබා ගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට මම කැබිනට් අවසරය ඉල්ලුවා.

මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය වුණේ මේ වෙලාවේ ප්‍රසිද්ධ දැන්වීමක් පල කරලා ඩොලර් ණය මේ වගේ දැවැන්ත මුදලක් ගන්න යන විට කවුරුවත් ඉදිරිපත් වුනේ නැතිනම් ආණ්ඩුව විසින් දැනට විදේශවලින් ඩොලර් ණය ගැනීමට දරන උත්සාහයට අවාසි දායක ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා අලුතින් යෝජනා කැදවීමක් ප්‍රසිද්ධ දැන්වීමකින් කරන්නේ නැතුව මුදල් අමාත්‍යාංශය විසින් පත්කරණ ප්‍රසම්පාදන කමිටුවක් හරහා ලැබී ඇති යෝජනා ඇගයීමකට ලක් කරලා පිළිගත හැකි යෝජනා තිබේ නම් බාරගන්න කියලා මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබුනා. ඒ කට තමයි අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ලැබුනේ.

ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා. ඒ අනුව එම සමාගමෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කලරා ඔවුන්ගේ නිර්දේශය මම අමාත්‍යමන්ඩලයට ඉදිරිපත් කලා.

මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිලිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කල අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ. තෙල් සංස්ථාවත් දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බූදයක තිබෙන ආයතනයක්. ඒ නිසා මෙම ණය මුදල් රක්ෂණය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල අඩු කරන්න බෑ කියා දැනුම් දුන්නා. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා. අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්. එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ශිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍යමණ්ඩලයට පෙනුනා.

මෙතරම් දැවැන්ත මුදලක් මෙවැනි ආයතනයක් අපට දේවි කියා මම විශ්වාස කරන්නේ නෑ කියා මම ඇමති මණ්ඩලයටත් දැනුම් දුන්නා. නමුත් මේ යෝජනා නොසලකා හිටියා නම් අපි අඩු පොලියට ණය ලබා ගන්න තිබුණු අවස්ථාව මග හැරියා කියන චෝදනාව එල්ල වෙනවා. මේ ණය මුදල ලැබුනොත් හොදයි. නොලැබුනොත් ඉතින් කරන්න දෙයක් නෑ.

මෙම මාධ්‍ය හමුව සදහා තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කලමණාකාර අධ්‍යක්ෂක බුද්ධි්ක මඩිහහේවා යන මහත්වරුන්ද එක් විය

ප්‍රශ්නය

අමාත්‍යතුමනි තෙල් සංස්ථාවේ සභාපතිතුමන් තෙල් මිල සංශෝධනයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවිය හැකි නේද?

පිළිතුර

මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ඉන්ධන මිල වාර්තා වෙමින් තියෙනවා. අපි පුළුවන් තරම් දරාගෙන ඉන්නවා. මේ පිළිබඳව මම තනියෙන් තීන්දු ගන්නේ නැහැ. මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරලා ආණ්ඩුව සහනයක් දුන්නොත් මිල වැඩි කිරීමක් කරන්න වෙන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරලා බලනවා.

තෙල් පාඩුව දරමින් අපි ගෙනල්ලා තියෙනවා. රාජ්‍ය ආයතනයක් විදිහට අප ඒ පාඩුව දරලා තියෙනවා. තවදුරටත් ඒ පාඩුව දරාගැනීමේ අවහිරතාවය තමයි සංස්ථාවේ සභාපතිතුමා පැහැදිලි කලේ. අගෝස්තු මාසයේ අප කෝටි 867 පාඩු වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ ඊටත් වැඩි වෙනවා. ඔක්තෝබර් මාසයේ අනිවාර්යෙන්ම වර්තමාන ලෝකයේ තෙල් මිල අනුව වර්තමානයේ විකුණන මිලටම විකුණුවොත් මේ ඔක්තෝම්බර් මාසයේ පමණක් කෝටි 1000 ක පාඩුවක් තෙල් සංස්ථාවට සිදුවීමට නියමිතයි. මෙහෙම පාඩු දිගින් දිගටම දරා ගැනීමේ හැකියාවක් තෙල් තෙල් සංස්ථාවටත් ලංකා ආණ්ඩුවටවත් සමස්ථ ලංකා ආර්ථිකයටත් හැකියාවක් නැහැ.

ගෑස් සමාගම් ඇයි මිල වැඩි කරන්න ඉල්ලුවේ. ඇයි රජයට එය ලබා දෙන්න සිදුවුණේ. ගෑස් සමාගම් ටික කලක් පාඩුවට විකුණුවා. ඉන්පස්සෙ ගෑස් සමාගම් ආනයනය කරන එක නතර කළා. එවිට රටේ ගෑස් හිඟයක් ඇති වුණා. කිරිපිටි හිඟයක් සිමෙන්ති හිඟයක් ඇති වුණා. සිමෙන්ති කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි අතීතයේ අපි ස්වයංපෝෂිතව හිටපු දෙයක්. අතීතයේ දියර කිරිවලින් ස්වයංපෝෂිත ව සිටී රටක්. අපේ රටේ නව පිරිපහදුවක් හදන කතාව අපේ වයස තරම්ම පරණයි. හැබැයි ඒක වුණේ නැහැ. අපේ රටේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට විස්සක් පිරිපහදුව තිබුණා නම් රට තුළම නිෂ්පාදනය කර ගන්න තිබුණා. මහපොලොවෙ ගෑස් ටික ගොඩ ගත්තා නම් අපිට පිටරටින් ගෑස් ගැනීමේ අවශ්‍යතාවය නැත්තටම නැති වෙනවා.

නමුත් අපි වත්ත බද්දට දී ඇස්සට දත නියවන ජාතියක් බවට පත්වෙලා තියෙනවා. අඳුරට ශාප කිරීම පසෙක තබා පහනක් දැල්වීම තමයි අපේ කාර්යය. අතීතයේ හිටිය අයට දොස් කීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට අප කළ යුත්තේ මෙම ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කිරීමයි. ඉන් නොනැවතී විසඳුම මහපොළොවෙ ක්‍රියාත්මක කිරීමද සිදු කරමින් සිටිනවා. නමුත් ක්ෂණික නූඩ්ල්ස් ක්ෂණික පපඩම් වගේ ක්ෂණික විසඳුම් නැහැ බලශක්ති අර්බුදයට. එයට යම් කාලයක් ගත වෙනවා. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ වසර තුනක් ඇතුළත මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්පත ගොඩගැනීමයි.

– media unit

1,232 views



Source link

Related posts

lankacgossip | ඇමරිකාව පලවැනියා.. අපි දෙවැනියා.. අපට හොද සැලැස්මක් තියෙනවා..

Rohan

lankacgossip | සෞඛ්‍ය සේවා 09ක් වැඩ වර්ජනයක් කැදවති..

Rohan

lankacgossip | ජනපතිගේ ‘ගම සමග පිලිසදර’ට නාමල් යයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy